ජනතාව විඳෙව්වා ඇති. උද්ධච්ඡ, ජනතාද්‍රෝහී පාලනය ගෙදර යැවීමට පෙළ ගැසෙමු!!

ලංකාවේ ජීවත් වන අති බහුතරයක් ජනතාව පසුගිය අවුරුදු දෙක තුළ ඕනවටත් වඩා විඳවා ඇත.

වසංගතය මුවාවෙන් වැඩ කරන අති බහුතරයකගේ වැටුප් කප්පාදු කිරීමට ඉඩ දී ආණ්ඩුව නිහඩව බලා සිටියේය. UNICEF අධ්‍යයනයකට අනුව මෙම කාලය තුළ සමාන්‍ය වශයෙන් නාගරික නිවසක ආදායම 37%කින්ද, ග්‍රාමීය නිවසක ආදායම 30%කින්ද, වතුකරයේ නිවසක ආදායම 23%කින්ද පහත වැටී ඇත. 

වසංගතය තුළ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ඇති කිරිමට ආණ්ඩුව අසමත් විය. Online අධ්‍යාපනය ගැන ආණ්ඩුව පුරාජේරු දෙඩුවද 2020 ජනවාරි වනවිට ලංකාව තුළ අන්තර්ජාල සබඳතා පැවතියේ ජනගහනයෙන් 47%කට පමණි. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්තාවකට අනුව ලංකාවේ සියළු පාසැල් සිසු සිසුවියන්ගෙන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගත හැකි මුළු ප්‍රතිශතය වුයේ 45%ක් පමණි. 1-100 දක්වා සිසුන් ඉගෙනුම ලබන කුඩා පාසැල්වල එම ප්‍රතිශතය 8%ක් පමණි. ඒ අනුව රටේ අති බහුතරයක් පවුල්වල දරුවන්ට වසර දෙකකට ආසන්න කාලයක් කුමනම හෝ අධ්‍යාපනයක් ලබා දීමට ආණ්ඩුව සමත්වී නැත.

මෙම අවුරුදු දෙක තුළදී ජනයාගේ ජීවන වියදම අහස උසට නැඟුණි. බස් ගාස්තු 35%කින් වැඩිවී ඇත. ඉදිකිරීම් සදහා වන වියදම් 30-40% ප්‍රමාණයකින් ඉහළ ගොස්ය. සියළුම පාහේ භාණ්වල මිළ පාලනයන් ඉවත් කර ඇති නිසා වෙළෙඳුන් හිතු හිතූ ගණන් වලට භාණ්ඩ විකුණමින් පවතී. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 ජනවාරි වනවිට 3%ක් වූ වාර්ෂික උද්ධමනය 2021 සැප්තැම්බර් වනවිට 6.2%ක් දක්වා වැඩිවී ඇත. ඉන් පසු මාසවලදී එනම් 2021 ඔක්තෝබර් වනවිට එය 8.3%ක්ද, නොවැම්බර් වනවිට 11.1%ක්ද, දෙසැම්බර් වනවිට 14%ක්ද සහ 2022 ජනවාරි වනවිට 16.8%ක්ද ලෙසින් ඉහළ ගියේය. මෙය කිසිසේත්ම ජනතාවට දරාගත හැකි තත්ත්වයක් නොවේ.

කාබනික පොහොර විගඩම විසින් රටේ සමස්ත ගොවි ජනතාවම දැවැන්ත අර්බුදයකට ඇද දමා ඇත. ගෑස් සමාගම්වල නිලධාරීන් තම අභිමතය පරිදි ගෑස් සං‍යුතිය වෙනස් කිරීම නිසා රට පුරා ජනතාව -විශේෂයෙන් ගෘහිණියන් - අනතුරේ හෙළමින් ගෑස් සිලින්ඩර් පිපිරෙන්නට විය. එම අපරාධකාරී ක්‍රියාවට වගකිව යුතු එකද නිලධාරියෙකු හෝ මේ වන තෙක් නීතිය හමුවට ගෙනවිත් නැත. මේ වනවිට භාණ්ඩ හිඟය විසින්ද ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ඇද දමා ඇත. ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, භූමිතෙල් පෝලිම්, පැට්‍රල් හා ඩීසල් පෝලිම් ආදී පෝලිම්වලටම ජනයාට තම කාලය වැය කිරීමට සිදුව ඇත.

මේ සියල්ල මධ්‍යයේ වසංගතය පාලනය කිරීමටද රජයට නොහැකිව ඇත. 2022 ජනවාරි 5 දින වාර්තා වූ කෝවිඩ් රෝගීන් ගණන 487කි. එහෙත් පෙබරවාරියේ සෑම දිනකම අලුතින් 1,000ට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා විය. පෙබරවාරි 23 අලුතින් වාර්තා වූ රෝගීන් ගණන 1,252කි. රෝගීන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වර්ධනය වුවද, එය මැඩ පැවැත්වීම උදෙසා රජය කිසිදු පියවරක් නොගනී. පොදු  ප්‍රවාහන සේවාවල ඇති තදබදය රෝගය ව්‍යාප්ත කිරීමට විශාල ලෙසින් දායක වේ.අද වනවිට රෝගියාගේ වුවමනාවෙන් පරීක්ෂණ කරගත හොත් හැර රෝගීන් සොයා ගැනීම වෙනුවෙන් පරීක්ෂණ කිරීමක් නැත. තම අවශ්‍යතාවය වෙනුවෙන් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය  ඇන්ටිජන් කට්ටල රෝහල්වල හිඟය. රෝගියාගේ සමීපතම ආශ්‍රිතයින් පවා පූර්ණ එන්නත්කරණයට භාජනය වී ඇත්නම් සේවයට යා යුතු අතර සේවා ස්ථානවල රෝග මර්ධනයට අවශ්‍ය පහසුකම් කිසිසෙත් සපුරා නොමැත. 

මෙවන් පසුබිමක වුවද පාලකයින්ගේ වංචා, දූෂණ හා නාස්තිය කිසිඳු අඩුවකින් තොරව සිදු වෙමින් පවතී. ජනයාගේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට මුදල් නැති බව කියන ආණ්ඩුව ඇමතිවරුන්ට හා මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්වීම වෙනුවෙන් මෙම ආණ්ඩුව රු. බිලියන 3.7ක් (කෝටි 360ක්) පමණ වියදම් කර ඇත. සතොස සුදු ළූණු වංචාව, සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය ආදී වශයෙන් පසුගිය වසර දෙක තුළ සිදුවූ දූෂණ හා වංචා ලයිස්තුව අති විශාලය. රට මෙතරම් අර්බුදයක පවතිද්දී මියන්මාරයෙන් ඩොලර් 340-350 අතර මිළකට අපනයනය කරන සහල් ශ්‍රී ලංකාව මිළදී ගෙන ඇත්තේ ඩොලර් 445කට බව එරට පුවත්පත් විසින්ම වාර්තා කර ඇත. පැන්ඩෝරා පත්‍රිකා අනුව රාජපක්ෂ පවුලට සම්බන්ධ නිරූපමා රාජපක්ෂගේ සැමියාට 2011 වනවිට තිබුණා යැයි කියන ඩොලර් මිලියන 160ක ධනය ගැන ආණ්ඩුව කටයුතු කරන්නේ ගොළුවා කසාය බිවූ ආකාරයටය. පසුගිය දිනක වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ රාජපක්ෂ පවුලේ අය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10,000කට අධික මුදලක් උගන්ඩාවේ ආයෝජනය කර ඇති බවකි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ජනයා කුමන දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නත් පාලක නඩය හා ඔවුන්හේ සහචරයන් රටේ ධනය මංකොල්ල කෑම දිගටම කරගෙන යන බවය. 

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාව මෙතරම් පීඩනයකට පත් කළ හා ජනතාවට මෙතරම් එපා වූ ආණ්ඩුවක් 1948 න් පසු මෙරට පැවත නැත. ජීවත්වීමට ඇති මාර්ග අහුරමින්, ජනතාව මත තව තවත් බර පටවමින්, මහජන මුදල් නාස්ති කරමින්, තමන් හා තම සහචරයන්ගේ මඩිය තරකර ගන්නා මෙම පාලනය ඉවත් කර දැමීමට කාලය පැමිණ ඇත. ඒ සමඟම මොවුන් වෙනුවට තවත් මෙවැනිම උලාපාළු ධනපති කණ්ඩායමක් යළිත් ජනතාව රවටමින් බලයට පැමිණීම වැළැක්වීමටද අප පියවර ගත යුතුය. මෙරට පවතින කිසිදු ගැටලුවකට විසඳුමක් ලබා දීමට ධනපති ක්‍රමයට නොහැකි බව නැවත නැවත ඔවුන් ඔප්පු කර ඇත. මේ වන විට විපක්ෂය අතිශය බංකොලොත් ආකාරයට කටයුතු කරන්නේ ඔවුන්ටද මෙම අර්බුදයෙන් රට බේරා ගැනීමට කිසිදු වැඩ වැඩපිළිවෙළක් හෝ අවබෝධයක් නැති නිසාය. තවත් ධනපති කණ්ඩායමක් බලයට ගෙන ඒමෙන් සිදු වන්නේ ජනතාව කබලෙන් ලිපට වැටීමකි.

වර්තමානයේ ඇති අවශ්‍යතාවය වන්නේ ජනතාව පාලන බලතල තම අතට ගැනීමයි. වැඩපළ කමිටු, ප්‍රාදේශීය කමිටු ගොඩ නඟමින් ජනතාව ආයතනවල හා ප්‍රදේශවල පාලනය අතට ගත යුතු කාලය පැමිණ ඇත. ජනයාගේ උවමනා එපාකම් සැපිරීම වෙනුවෙන් රටේ සම්පත් ඵලදායී ලෙසින් ‍යොදාගත හැකි වන්නේ එසේ ජනතාව මැදිහත් වී ගොඩනඟා ගන්නා කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය සහිත පාලනයක් තුළ පමණි. අප සමාජවාදී පාලනයක් ලෙස හඳුන්වන්නේ එවැනි පාලනයකි. එවන් සමාජවාදී පාලනයක් උදෙසා වන පෙළගැසීම අද අප ඉදිරියේ ඇති අවශ්‍යතාවයයි.

Join us

If you want more information about joining the IMT, fill in this form. We will get back to you as soon as possible.